විවාහයක් සාර්ථක වීමට කාන්තාවකට සුබ දේහ ලක්ෂණ පිහිටිය යුතුය
මිනිසකු හට ස්වර්ගය හෝ අපාය මවන්නේ ස්ත්‍රියයි. මේ අයුරින් නාරි ගුණ අගුණ පිළිබඳ පෙරැදුරෝ විවිධ අදහස් ඉදිරිපත් කළහ. මානව සංහතියේ පැවැත්ම පිළිබඳ කාන්තාවගේ බලපෑම අතිමහත්ය. කුඩා දැරියක් තරුණියක, බිරියක, මවක වශයෙන් තම ජීවිතය තුළ විවිධ වූ අර්ථාන්විත භූමිකාවන් රැසක් උසුලයි.
පුරුෂයකුට වඩා කාන්තාවක කවර පීඩාවක් වුවද දරා ගැනීමේ ශක්තිය තුළින් පෙරමුණෙහි සිටින්නීය. එය සමාජයේ දුර්වල යැයි සම්මත ගැහැනියකගේ මානසික සොබාවය බලවත් බවට සමාජය විසින්ම පෙන්වනු ලබන සාධකයකි.
බුදුන් වහන්සේ ස්ත්‍රියට සම තැන, ගෞරවාන්විත බව හිමිකර දුන්නද අතීතයේ ස්ත්‍රිය පුරුෂයාට දෙවැනි වූවාය. පුරුෂයා මළ ස්ත්‍රිය ඔහු දවන සොහොනට, චිතකයට පැන දිවි නසා ගැනීම එදා භාරතීය සාම්ප්‍රදායකි. එදා ස්වාමියා මළ ස්ත්‍රිය අනාරක්ෂිතය. සමාජයේ ගැරහීමට, පිළිකුලට ලක් වෙයි.
කාන්තාවකට සමාජයේ දබරැඟිලි යොමු වන අවස්ථා එමටය. අතීතයේ භාරතීය කාන්තාව සමාජයෙන් පීඩනයට ලක් වූවාය. විවාහයේදී දාසියක වූවාය. ශාරීරික ඉරියව්, හැසිරීම්, දේහ ලක්ෂණ තුළින් විවේචනයට බඳුන් වූවාය.
රූපය කාන්තාවකට ආභාරණයකි. ශිල්ප ශාස්ත්‍රය ඉගෙනීම ඇගේ අගය ඉහළ යෑමට හේතුවකි. අතීතයේ රුවැත්තියක පතා සටනට වන් රජුන් බොහෝය. සටනකදී විනාශයට වඩා රාජ නියෝගය බලවත්ය. රුවැත්තිය පොදු වස්තුවක් වූයේ රජුන් උදෙසාය. පුරුෂාධිපත්‍ය ඉදිරියේ කාන්තාව අසරණ වූයේ එලෙසය.
පතිනියක වූ තරුණිය දරුවකු බිහි කිරීම උත්තරීතර වූ මවු පදවියට පත් වීමකි. කාන්තාවකට දරුවන් නොලැබීම හෝ දරුවන් අහිමි වීම ඇය සමාජයේ අවමානයට පත් වීමකි. එවන්වූ කාන්තාවක උදෑසන දර්ශනය, පෙරමඟ හමුවීම අසුබ නිමිති ලෙස පැරැණියන් විශ්වාස කළහ. වර්තමානයේද දරුවන් අහිමි ළඳක් සමාජයේ දෝෂ දර්ශනයට ලක් නොවන්නේ නොවේ. සියල්ල පුරුෂාධිපත්‍යයට යටත්වූ සමාජයක ස්ත්‍රිය වෙත යොමුවන්නේ වැරැදි දැක්මකි.
ජෝතිෂ්‍යයේදී ග්‍රහයන් නවදෙනකුගේ බලය මූලික වෙයි. එහෙත් පැරැණියන් නවග්‍රහයනට වඩා දසවැනි ග්‍රහයා සුබ වීම විවාහයකදී බලවත් යැයි පැවසූයේ ස්ත්‍රිය දසවැනි ග්‍රහයා ලෙස අරුත් ගන්වමිනි.අතීතයට වඩා වර්තමානය දියුණුය. විවිධ වෘත්තීන් තුළ කාන්තාව පුරුෂයන් හා සමතැන් ගෙන කටයුතු කරයි. ගොඩනැඟිල්ලක්, නිවෙසක් වන්නේ කාන්තාවකගෙනි. ලෝකයේ පැවැත්මට උපකාරී වන ජීව විද්‍යාත්මක ක්‍රියාවලියේදී උපරිම මෙහෙය සිදුවන්නේ කාන්තාවකගෙනි.
කාන්තා පක්ෂය වත්මන් ලෝකයේ ආගමික, සාමාජික, ජාතික, දේශපාලනික ආදී සෑම කටයුත්තකදීම පෙරමුණ ගෙන සිටියි. කාන්තා ගමන් විලාසයද පැරැන්නෝ විවිධ ලෙස විවේචනයට ලක් කළහ. ඇත්, හංස, ගව, මුව, මොනරා, බළල් ආදී ගමන් ලතා හිමි කතුන් යහපත් ලෙස එකල්හි පිළිගෙන ඇත.
විශාඛා මහා උපාසිකාවද ඇත් ගමන හිමි තැනැත්තියකි. කාන්තාවක යන එන ගමන් ලතාව තුළ සෞභාග්‍යය, ඉසුර සහ දුර්විපාකද පෙර කල ඇගේ පලාපලයනට ඇතුළත්ය.
නුරා ගමන, සළෙලු ගමන, ලැසි ගමන, සසල ගමන, නිසල ගමන, පාවෙන ගමන යනුවෙන්ද ගමන් විලාස හතකි. පුළුලුකුල නටවා යන ලැසි ගමන රජ සමයේ උසස් කුලවන්තියන්ගේ ගමනකි. නවීන ලොව තුළ එවන් තාල ගමන් අනතුරුදායකය. වර්තමාන සමාජ රටාවේදී ගමන් ලතාවට වඩා ගමනාන්තය වැදගත්ය.
අතීතයේ හැටහතර මායම් නූතනයේ කාන්තා විලාසිතාවකි. ඇතැම් අංග එදිනෙදා ආරක්ෂක උපක්‍රමයන්ය. පියයුරු තදකර බැඳීම, කොණ්ඩය කඩාගෙන සිටීම, පෙකණිය පෙනෙන ලෙස ඇඳුම් ඇඳීම විලාසිතාවන්ය.
කෙළින් බැලීම, වරින් වර බැලීම, පැලැඳි ආභරණ වරින් වර ඇල්ලීම, ශබ්දනඟා කතා කිරීම, ඇස් නෙරවා (රවා) බැලීම යනාදිය වර්තමානයේ කාන්තාවකට ආරක්ෂක උපක්‍රමයන්ය. එවන් බොහෝ අංග ලක්ෂණයන් සතුරු උවදුරු, බිහිසුණු විපත් යනාදියෙන් වැළකීමට උපකාරි වෙයි.
0 comments:
Post a Comment