සමාජ ජාල වබේ අඩවියක් තුළ චීන නිළියක පළකළ අරුමෝසම් පින්තූරයක් නිසා, ලෝ වටා තරුණ පරපුරට අලුත් උන්මාදයක් වැළඳී ඇති බව මේ දිනවල පෙනෙන්නට තිබෙනවා. පසුපස බඳ වටා අත යවා නාභිය ඇල්ලීමේ අභියෝගය වන මෙය Belly Button Challenge නමින් උන්මාදයක් බවට පත්වී හමාරයි.
නාභිය ඇල්ලූ පමණින් අභියෝගය ජය ගන්නට බැහැ. නාභිය අල්ලගෙන ගත් සෙල්ෆි ඡායාරූපයක් තමන්ගේ ෆේස්බුක් හෝ ට්විටර් ගිණුමෙහි පළ කිරීමෙන් අභියෝගය ජය ගත්තා සේ සැලකෙනවා. අභියෝගය ජය ගන්නා කෙනකුට, තවත් තුන් දෙනකුව අභියෝගය වෙනුවෙන් නම් කරන්නට පුළුවන්. Belly Button Challenge වෛරසයකටත් වඩා වේගයෙන් ලෝකය වටා පැතිර ගියේ එහෙමයි. මේ උන්මාදයේ ඇරඹුම සටහන් වුණේ මීට සති කිහිපයකට පෙර චීනයෙනුයි. චීන ජාතික විසේකාර නිළියක වන විසිඅට හැවිරිදි යැංග් මී විසින් තමන් බඳවටා අත දමා නාභිය අල්ලන ඡායාරූපයක් සිය සමාජ ජාල ගිණුමෙහි පළ කර තිබුණේ මේ වැකිය සමගයි.
“මට හැඩකාර සිරුරක් තිබෙන බවට මේ පින්තූරය සාක්කියක් නේද? ඉතිං මාව වර්ණනා නොකරන්නේ ඇයි…?” යැංග් මී සිය ගිණුමෙහි පළකර තිබුණා.
ඉන් පසුව ගතවුණේ බොහෝම කෙටි කාලයක් විතරයි. Belly Button challenge උණ තරුණ පරපුර අතර වෛරසයක්ව පැතිර යන්නට පටන්ගත්තා. ගතවුණු සති දෙකට සමාජ ජාල වබේ අඩවිවල බුරිය අල්ලාගෙන පළ වී ඇති ඡායාරූප සංඛ්‍යාව මිලියන 130 ක් පමණ වන බවට අන්තර්ජාල නියාමන ආයතන පවසනවා.
යැංග් මී ගෙන් අනතුරුව ලෝකයේ ජනප්‍රිය සුපිරි තරු ගණනාවක්ම නාභිය අල්ලාගෙන ගත් සෙල්ෆි ඡායාරූප සිය ගිණුම්වල පළ කර තිබුණා.
උසට සරිලන බර නඩත්තු කරගෙන සිහින් ඉඟක් පවත්වා ගැනීම කියන සෞඛ්‍යමය කාරණාවට උදව් දෙන වැඩක් හැටියට සමහරු මේ බුරි අභියෝගය හඳුන්වනවා. බුරි අභියෝගය ජය ගන්නට බැරි උදවිය සිය මහත බඩවල් බදාගෙන ගත් ඡායාරූපවලින් අන්තර්ජාලය කවට සිනා ලෝකයක් බවටත් පත්ව තිබෙන බවත් ඇත්තක්.
චීනය හා ආසියාව හරහා මේ බුරි අභියෝගයේ උන්මාදය පැතිර ගියත්, ඇතැම් බටහිර රටවල උදවිය මේ ගැන දක්වන්නේ අප්‍රසාදයක්.
“ඉඟ සුඟ කුඩා වෙන්න ඕන කියන එක මට නම් විහිළුවක්. මේ විකාරය නිසා මිනිස්සුන්ට තමන්ගේ පෙනුම ගැන අවතක්සේරුවක් ඇතිවෙනවා. පෙනුම ගැන ආත්ම විශ්වාසයක් නැතිව යනවා.” බ්‍රිතාන්‍ය ජාතික සමාජ ක්‍රියාකාරිනියක වන නෝරා වෙලන් පවසනවා. එහි සත්‍යතාවක් නැතුවාමත් නොවන්නට පුළුවන්. කොහොම නමුත් බුරි උන්මාදය අත්හදා බලන්නට ගිහින්, උරහිස පන්නා ගත්තොත් වෙද මහත්තුරු ළඟ පත්තු බඳින්න වෙන බවත් සිහිපත් කරමින් මේ කෙටි සටහනට තිත තබනවා.
සඳමාලි වර්ණසූරිය
0 comments:
Post a Comment